කලින් ලිපියේ දැමූ පින්තූර ටික සහිත ඊමේලය ලැබුණුවිට මතකය මාව 1999 වසරට මතකයෙන් අරන් ගියා. ඒ කවමදාකවත් ජීවිතයේ අමතක නොවන දර්ෂණයක් ඒ වසරේ පාසල් නිවාඩුවක දැක්ක නිසා…
මොකක්ද එච්චර අමතක නොවන සිදුවීම.. මට මතක විදිහට ඒක අගෝස්තු මාසයේ දිනයක්. අපි ගෙදර පවුලේ අයත් එක්ක පොඩි සංචාරයක නිරතවෙලා හිටියේ.. පවුලෙ ඔක්කෝටම යන්ඩ හින්දා ටාටා ලොකු බස්එකක් තමා ගියේ.
යාල උද්‍යාන කාර්‍යාලයෙන් පිටත්උන අපේ රිය පෙලට ඩිෆෙන්ඩර් රථයක්, නිල් පැහැති පොඩි වෑන්රථයක්, බස්රථ 2ක් (ඉදිරියෙන් තිබුනේ අපි හිටපු බස් එක), පෙජරෝ රථයක් තිබුණා. මට මතක විදිහට මුළු කණ්ඩායමටම හිටියේ ඉස්සරහම ගිය රථයේ හිටපු නිළධාරියා විතරයි. ඉතින් සවස 1ට විතර පටන් ගත්ත අපේ යාල සංචාරය පැය 2ක් විතර නොයෙකුත් සතුන් බලමින් ඉදිරියට ගියා.
ඔන්න ඉතින් සුපුරුදු පරිදි කථාවේ භයානක ටික පටන්ගන්ඩයි යන්නේ… ටිකකින් දැනගන්ඩ ලැබුණ විදිහට අපිත් එක්ක ආපු පෙජරෝ එක නෑ. දැන් අපිට යන්ඩ විදිහකුත් නෑ ඉන්ඩ විදිහකුතු නෑ. මොකද අපි හරියටම ඉන්නේ ජලාශයක් පේන දුර. ඒ මදිවට සත්තු වතුරබොන්ඩ නාන්ඩ යන වෙලාව කිට්ටු කිට්ටුව. ඉතින් අපිට යන්ඩත් බෑ. ඉන්ඩත් බෑ. ටිකකින් අර ඩිපෙන්ඩර් එක වන නිලදාරියත් එක්ක ආපහු ආපු දිහාට ගියා අර නැති වෙච්ච වාහනේ හොයන්ඩ. පස්සෙ දැනගත්ත විදිහට ඒ පෙජරෝ එක එලෙව්ව පණ්ඩිතයා සහ ඒකෙ ගිය උදවිය වැඩි ආතල් ගන්ඩයි වැඩිපුර සතුන් බලන්ඩයි වෙන පාරක ගිහිල්ල වලක වැටිල. අර ගිය ඩිපෙන්ඩරේ කේබල් එක දාල ඇදල ගොඩදාගෙන ඇවිත් තියෙන්නේ.
ඔය අතරෙ අපිට ඉස්සරහින් නවත්තල තියෙන වෑන් එක හිමින් හිමින් ඉස්සරහට යන්ඩ ගත්තා. අපිගිය බස්එකත් ඒක පිටිපස්සෙන්ම ඉස්සරහට ගිහින් කැලෑවෙ දෙපැත්තෙ වැඩිය ගස්නැති වැවට කිට්ටු තැනක නවත්තගත්ත. වාහන දෙකක් අතර දුර මීටර් 15 ක් 20ක් විතර තියාගෙන ඔක්කොම දැන් අර වාහන එනකං පාර පයින සත්තු දිහා බලාගෙන ඉන්නවා.. ඒ විතරක්නං මදෑ අර ඔය ගාවත් සත්තු ඕන හැටි..
ඔහොම ඉතින් පැයක් විතර කස්ටිය මාර ආතල් එකේ ඉන්නැද්දි තමා හොඳම කෑල්ල පටන්ගන්නේ.. දැන් ගස්වැල් හෙලවෙනවා… අහස අඳුරුවෙනවා.. බිහිසුණු හඬවල් වට පිටින් ඇහෙන්ඩ පටන් අරන් මහ වෙලාවක් යන්නේ නෑ,. ඇටමිදුලු සීතල කරවන මහා බිහිසුණු හූවක්… නෑ එහෙම උනේ නෑ…
ඒත් අර ඉස්සරහින් තියෙන වෑන් එක ගාවින් මෙන්න බොලේ අලි යනවා.. එකෙක් නං බැරියැ හැට හුටහමාරක් අලි… වෑන් එකට ඉස්සරහින් පාර මාරුවෙනවා.. දැන් අපිට පින්නවල ගියාවගේ හෙන ආතල්.. ඇයි යකෝ අලි නාන්ඩ යනවා අපි ගාවින් .. අනේ ඉතින් ඔය ෆන් එක මහ වෙලාවක් ගන්ඩ උනේ නෑ.. එක අලියෙක්ගෙ පැටියෙක්ට හරි ගෑනිට හරි අර ඉස්සරහ හිටපු වෑන්එකේ අවලමෙක් ටෝක් එකක් දීල.. ඒ අලි පියාට මල ජම්ප් වෙලා.. දැන් මූ හෙන ටෝක් දෙනවා.. පිඹිනවා, පොලව හාරනවා.. ගේමම ඉල්ලනවා.. අනේ ඉතින් විසිල් එකක් ගැහුවට අර අලියට ගේම් එකක් දෙන්ඩ එකෙක් අර වෑන් එකේ නෑ නොවැ. මුට ඊටත් පොර වෙලා.. දැන් අර වෑන් එකට ගහන්ඩයි පෑලෑන. අලි මදිවට හරක් කියලා අනිත් අලිත් නාන්ඩ යන එක පැත්තක තියලා අර ෂෝඑක බලාගෙන ඉන්නවා. අලි මදිනං බැරියැ අපේ බස්එකේ උනුත් ඩැයිවරයගෙත් කරේ නැගල අලි නාඩගං බලනවා.
ඔන්න දැන් හින්දි මොඩල් එකේ ෆිල්ම් එකක නං වෙන්නේ වීරයා බැහැල අලියට දෙකක් දීල වෑන් එක මුදෝගන්නවා.. හොලිවුඩ්නං CIA එකෙන් හරි Navi Seal එකෙක් හරි බැස්සා අලිය පෙනේරයක් වගේ වෙන්ඩ වෙඩිතියලා කටටත් ග්රෙනේඩ් එකක් දාලා වෑන් එක බේරගන්නවා.. ඒත් අපේ වාහන ඔක්කෝගෙම හිටියෙ ලංකාවෙ උන් විතරයි.. ඔක්කොම එකා එකා පෙරලගෙන ෂෝඑක බලනවා.. ඔය අස්සෙ දැන් අරූ හොඬවැලේ හිරි අරින්ඩයි ලෑස්තිය.. පොඩ්ඩක් ඇඟ තියලා තල්ලුවක් ඒම දාල මූ හොඬවැල උස්සල දුන්න පාරක් … පාරෙ හැටියට වෑන්එක දෙකට මැදින් නැවෙන්ඩ ඕනෙ.. ඒත් ඒම උනේ නෑ.. ඇයි ඒ..
වෑන් එකේ හිටිය එකෙක් ගේ දක්ෂතාවයක් වෙන්ඩ බෑනෙ.. ඒනං… අර අලියගේ අඹුව කැමති නෑ අර වෑන් එකට ගහල මිනිහ නම කැත කරගන්නවට.. ඇයි ඒ මදිවට වතුර බොන්ඩත් යන්ඩ නැති වෙන එකනෙ වෙන්නේ.. ඉතින් අලි අඹුව අලිය ගහන පාරවල් උගේ හොඬෙන් අල්ලලා අහකට දානවා.. දෙන්නත් එක්ක කතාවෙලා පෙන්නපු ෂෝ එකක්ද දන්නෙත් නෑ.. කෝම උනත් ඒක ඒම උනා..
ඒ අස්සේ අපේ බස්එකේ හිටපු අවලමෙක් මාව ඇදල පස්සට දාල මගෙ තැනට රිංගුවා.. දැන් දර්ශණය ක්ලෝස්.. ඒමයි කියල මේම එකක් අත් අරින්ඩ පුලුවනෑ නේද.. මාත් දැන් පස්සවල් හරි බලනවා කියලා අස්සෙන් රිංගන්ඩමයි ට්‍රයි එක.. ඔය අතරෙ අපේ මහප්පගෙ පුතෙක් හිටියා ඌ කලොත් මාව අවුස්සන මොකක් හරි වැඩක්මයි. මම අච්චර ලස්සන එකක් බලන්ඩ හදනවා මූ මට සූගාල වැලි ගැහුව.. උඹට මම කියල මුගෙ බෙල්ලට පනින්ඩ හැදුවාම ඒ හිටියේ ඌ නෙමේනෙ..
යකෝ අර අලිජෝඩුවේ පැටියා අපේ බස්එක ගාව.. උගෙ ආච්චිට හාල් ගරන්ඩ මූ බස්එක ගාව තියෙන වැලි ඔක්කොම බස්එකට පුරවන්ඩයි ට්‍රයි එක. ඒත් අපේ උන්ට ගානක් නෑ.. අලි පැට්ටෙක් නෙමේ අලියෙක් බස්එකට නැග්ගත් කොහෙද මුන් අර ෂෝඑක බලනව.. මටත් හෙන අවුල.. බහින්ඩත් බෑ.. පැටිය කිව්වට අලියගෙ පැටියනේ.. තාත්තත් වලිකාරයා මූ කෝමද දන්නෙත් නෑ. අනික මූත් හිටුගාල වැලි ඉහිනවා..
මමත් අම්මේ.. අම්මේ… ම්හ් අම්ම නෑ.. තාත්තේ අලියෙක් … ම්හ් ඒත් නෑ… නැන්දේ මේ දොර ගාව ඉන්න අලියව මම අල්ලන්ඩද… හා.. ඈ මොකක්… අලියා… අලියෙක් දොරගාව…………. කියල මර හඩ දුන්නේ නැතෑ.. අලියත් ශොක්වෙලා… මාවත් කෑ ගැහිල්ලට එලියට විසිඋනේ නැති ටික විතරයි.. ඒ අස්සෙ කවුරුහරි දොර වහන්ඩ හදනවා ඒත් වැහෙන්නේ නෑ.. ලොක් එක වැටිලා.. එක හුටපටයයි.
ඔය අතරේ හෝන් එකක් ගහගෙන ඩිපෙන්ඩරේ ඉස්සරහට ගියා.. ඒකෙ ගිය අර නිළදාරියා එලියට ගිහින් මොකක් හරි සෙල්ලමක් දාලා අලි ටික අහකට යැවුවා.. අලි පැටියත් ඒත් එක්ක පාර පැන්නද කොහෙද මට මතක නෑ.. මම බයවෙලා හිටියේ නෑ.. ඒත් දැන් ගොඩක් කල්නේ අෆ්ෆා…
ඊට පස්සේ වාහන ඔක්කෝම ගඟක් ගාවට අරන්ගිහින් කස්ටියට හුස්මගන්න පොඩි චාන්ස් එකක් දුන්නා.. මම හිතන්නේ වෑන් එකේ හිටපු අය පස්සේ වෑන් එක හෝදගන්ඩ ඇත්තේ.. එච්චර බය වෙලා හිටියේ.. සමහරුන්ට කතාකරන්ඩත් බෑ..
පස්සේ දැනගත්ත විදිහට අපි හිමින් හිමින් ඇවිත් නතර කරල තියෙන්නේ හරියටම සත්තු පාරමාරුවෙන තැන..
පලි/
ඒ 1999 එතකොටත් අපිට බලන්ඩ දෙන්නේ යාල 1 කලාපය විතරයි.. යාල 2 බලන්ඩ යන්ඩ හිතං හිටියා… තාම වැඩේ උනේ නෑ.. 2019 කලින් කොහොම හරි යන්ඩ ඕනෙ…