Friday, February 18, 2011

ලාංකීය සමාජයේ රකුසන් පිළිබඳ විමසා බලමු 1

ලංකාවෙ සමාජයෙ එක එක වර්ග වල රකුසො ගොඩාක් ඉන්නවා. මම ඒ වර්ගවලින් ප්‍රධාන රකුසො කීපදෙනෙක් ගැන මට හිතෙන විදිහ ගැන ලියන්ඩයි යන්නේ.. මේකට සමහර විට කොටසක් බනී.. සමහර විට කොටසක් හොඳයි කියයි. හැබැයි ඒ කෝක උනත් අපිට අනිත් අයත් එක්ක කතා කරද්දියි හරියටම දැනගන්ඩ වෙන්නේ.. ඒක හින්ද මේ බ්ලොග් එක බලන්ඩ එන කීප දෙනා හරි තමන්ට හිතෙන දේ ගැන වචනයක් කියල යන්ඩ පුලුවන්නං ලොකු දෙයක්.

පළවෙනි රකුසා..

මම කතා කරන්ඩ යන පළවෙනි රකුසා.. Network Marketing (Multi level Marketing) හෙවත් කණ්ඩායම් අලෙවිකරණය. Marketing සිංහලෙන් අලෙවිකරණය කියන්නේ ලංකාවෙනං ප්‍රධාන වෘත්තියක්. නිකමට Sunday Observer පත්තරේ රැකියා අවස්ථා කියන කොටස කියවලා බලන්ඩ.. 3/4 ක්ම තියෙන්නේ එක්කෝ Marketing නැත්තං Sales. ඉතිං ඒකෙන්ම තේරෙනවා අලෙවිකරණය ලංකාවට කොච්චර වැදගත්ද කියලා.

මොකක්ද අලෙවිකරණයෙයි කණ්ඩායම් අලෙවි කරණයෙයි වෙනස.

මේ දෙකේම තියෙන සමානකම් ටිකක් බලමු

  • භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳ අවශ්‍යතාවයක් ඇති වීම හෝ ඇති කිරීම
  • භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු වීම
  • මුදල් හුවමාරුවීම
  • අලෙවියෙන් පසු සේවාව

දැන් මොනවද එතකොට මේකෙ තියෙන වෙනස්කම්..

සාමාන්‍ය අලෙවිකරණයේදී

  • අලෙවිය සිදු කිරීම සඳහා බොහෝවිට වැටුප් ලබන අලෙවිකරුවන් පිරිසක් ඇත
  • අලෙවිය සිදුකරන්නනාට කොමිස් මුදලක් ලැබේ
  • අලෙවි කරුවන්ට අමතරව ප්‍රචාරණ කටයුතු මගින් භාණ්ඩය පිළිබඳ ප්‍රචාරයක් ලබාදේ.
  • හිමිකරුවන්, කොටස්හිමියන්, ආයතන, අතරමැදියන්, තොග වෙළඳුන්, ආනයනය කරන්නන්, ගබඩා කරුවන් ආදී පුද්ගලයන් රාශියක් මත ආදායම හා ලාබය විවිධ මට්ටමින් බෙදීයයි.
  • අලෙවි කරන්නාට භාණ්ඩය හෝ සේවාව පිළිබඳ පැමිණිලි කල හැකි වුවත් යම් සේවාවක් හෝ වෙනසක් කල හැක්කේ ආයතනයේ නීති රෙගුලාසි මත මිස අලෙවිකරුවාට ඉන් එහා වගකීමක් නැත.

කණ්ඩායම් අලෙවිකරණයේදී

  • අලෙවිය සඳහා වැටුප් ලබන ස්ථිර සේවක පිරිසක් නොමැති අතර පාරිභෝගිකයාම අලෙවි කරුවෙක් ලෙසද ක්‍රියාකරයි.
  • අලෙවිය සිදුකරන්නාට ලකුණු  (points) ලැබෙන අතර ඒවා ආයතනයේ ක්‍රමවේදයකට අනුව මුදල් කල හැක.
  • අලෙවිය කරන්නාට පමණක් නොව ඔහු හඳුන්වාදුන් පාරිභෝගිකයාටද (අලෙවිකරුවාටද) ලකුණු ලැබෙන අතර එය ඔහුගේ කණ්ඩායමේ ඉහලම සිටින පුද්ගලයා දක්වා ගලායයි.
  • බොහෝවිට මෙම ආයතන වල කොටස් හිමියන්, අතරමැදියන් ආදිය නොමැති අතර ප්‍රචාරණ කටයුතු සිදුකිරීමක් නොමැත
  • ආදායම ඉහල සිට පහලට ගලායයි. යම් උපරිම පරිමාවක් දක්වා ආදායම ඉහල නංවාගැනීමට හැකියාව ඇත.
  • බොහෝවිට ලකුණු ක්‍රමය නිසා අක්‍රීය අලෙවිකරුවන් හට ආදායම අහිමි වේ.
  • අලෙවියෙන් පසු සේවාව, භාණ්ඩ ප්‍රවාහණය ආදියේදී බොහෝවිට ගැටලුකාරී තත්වයන් බොහෝවිට දැකිය හැක. (සැමවිට නොවේ)

බැලූ බැල්මට මෙම ක්‍රම දෙකෙහිම ඇති වැඩි වෙනසක් නොමැත. එහෙත් මෙම ක්‍රම දෙකෙන් කණ්ඩායම් අලෙවිකරණය පිළිබඳ විශාල බයක් සමාජය තුල දැකිය හැක.

ඒ ඇයි?

  • සමාජයේ පවතින කට කතා හා මුල් බැස ගත් විශ්වාස.

මේක නිකම්ම ඇති වූ දෙයක් නොවුවත් බොහෝ දෙනෙකු තමන් දන්නා දේ අන් අයට දන්නා පරිදි කීමට යාම නිසා ඔඩුදුවා ඇති ප්‍රශ්ණයක්. මෙය එක් ශේත්‍රයකට පමණක් සීමා වූවක්ද නොවේ. අප කිරීමට යන බොහෝ දේවල් වලදී සමාජයේ හේතුවක් නොමැති විරුද්ධ වීම් දැකිය හැකියි. උදාහරණයක් ලෙසට Linux වලට සමාජයේ ඇති බය දැක්විය හැකියි. ලිනක්ස් අමාරුයි, පාවිච්චි කරන්ඩ බෑ. මේ විදිහට සරල විදිහට තමන් භාවිතා නොකර සිටින අය වගේම.. අපෝ ලිනක්ස්ද? දාන්ඩනං එපා.. මගේ කම්පියුටරෙත් පිච්චුනා… කියල කියන අයද ඉන්නවා.. හැබැයි අපි හරියට හොයල බැලුවොත් ඒ එක්කෙනෙක්වත් ලිනක්ස් පාවිච්චි කරල නෑ. එහෙම නැත්තං, ඒක පාවිච්චි කරල මොකක් හරි පොඩි හේතුවක් හින්දා අමාරුවෙ වැටිලා. එහෙම නැත්තතං කාගෙන් හරි අහගත්ත දෙයක්.

  • පෙර අත්දැකීම්.

අර මම කලින් කිව්වා වගේ යම් යම් හේතු නිසා මේ කණ්ඩායම් අලෙවිකරණය අසාර්ථක උන අය ගොඩක් ඉන්නවා. හුඟක් වෙලාවට තමන් අසාර්ථක උනේ ඇයි කියල හොයල තේරුම් අරගෙන ඒකට ප්‍රතිකර්ම කරලා සාර්ථක වෙනවා වෙනුවට කරන්නේ ඒකෙ තියෙන වැරුද්දක් නිසා තමන් අසාර්ථක උනා කියල තමන්ව සාධාරණීකරණය කරගෙන ඒ ආයතනයට වැරැද්ද පටවන එක. එතකොට ඒක සාර්ථකව කරන අය කොහොමද කරන්නේ කියලා හොයන්නේ නෑ.

  • වැරදි වටහා ගැනීම් හා මුල වැරදීම්.

හුඟදෙනෙක් මුල පටලව ගන්න එකක් තමා කණ්ඩායම් අලෙවිකරණය හා පිරමිඩ් එකක් ලෙස දකින එක. මම මේ දෙකේ වෙනස මේ ලිපියේම පහලින් පැහැදිලි කරන්නම්.

  • අලෙවිකරුවන් විසින් කරනු ලබන වැරදි.

මේ අලෙවි ක්‍රමය රැඳීපවතින්නේ සම්පූරණයෙන්ම අලෙවිකරැවාගේ හැකියාව මතයි. අනෙක් අලෙවිකරණයේදී අලෙවිකරුවාට අමතරව ප්‍රචාරණයක් ක්‍රියාත්මක වන නිසා අලෙවිකරැවා ඒ පිළිබඳ කතාකරණ විටත් මිනිසුන් ඒ පිළිබඳ යම් අවබෝධයකින් සිටින බව සාමාන්‍ය සමාජ අවබෝධයෙන් අප දන්නා කරුණක්. එහෙත් බොහෝ විට මෙම කණ්ඩායම් අලෙවිකරණය යටතේ බෙදාහැරෙන මෙම භාණ්ඩ පිළිබඳව මිනිසුන් දැනගන්නේම එදා වීමටද හැකියි.

ඉතින් සාර්ථක ලෙස අලෙවිකරණයේ යෙදීමට බැරි අලෙවිකරුවකුගේ අලෙවි උත්සාහය සමාජයේ වැරදි මතයක් ගොඩනැගීමට තරම් බලවත් විය හැකියි.

එමෙන්ම මෙම ක්‍රමයේදී අලෙවිකරුවන් සිදුකරන මුදල් වංචා ආදියද මේ අලෙවිකරණය කෙරෙහි බලපානවා. අනෙත් ආයතන වල මුදල් වංචාවක් සිදු වූ විට එය ආයතනය පිටින් ගියත්. මෙම අලෙවිකරණ ක්‍රමයේදී එය අලෙවිකරණ ක්‍රමවේදයේ පිටින්යාම සුලබ දසුනක්.

  • ආයතන විසින් සිදුකරනු ලබන වැරදි.

කණ්ඩායම් අලෙවිකරණයේ යෙදෙන ආයතන කිහිපයක්ම ලංකාවේ දැකිය හැකි වේ. මේවායින් සිදුවන යම් යම් වැරදිද මේ ක්‍රමවේදයට බලපෑම් කිරීමක් දැකීමට හැක.

ආයතන පරිශ්‍රයන් එක් ප්‍රෙද්ශයකට පමණක් සීමා වීම. අලෙවිකරුවන් හට නිසි දැනුමක් හා පුහුණුවක් ලබා නොදීම. ව්‍යාපාරය වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය නිසා නිසි අවබෝධයක් නොමැති පාරිභෝගිකයන් පවා අලෙවිකරණය සඳහා යෙදවීම. කල් ගතවීමේදී භාණ්ඩය හෝ සේවාව පිළිබඳ සැලකීම අඩු වී එහි අලෙවිය පිළිබඳ මූලික සැලකිල්ලක් කිරීම.

මේ පිළිබඳ ඔබේ අත්දැකීම් තිබිය හැක. ඒවා බොහෝ සේ වටින නිසාවෙන් මෙහි සටහන් කිරීමට අමතක නොකරන්න

පිරමීඩ ක්‍රමය හා කණ්ඩායම් අලෙවිකරණය අතර ඇති වෙනස

මේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ගොඩනගා ගැනීම පිණිස මටත් Google දෙවියාගේ පිහිට පැතීමට සිදු උනා.. Pyramid vs Network marketing කියන එකට ගුගුල් දෙයියා දුන්න උත්තර ඔස්සේ ගියාම හුඟක් තොරතුරු හොයාගන්ඩ පුලුවන් උනා. ඒවායේ සම්පිණ්ඩනයක් විතරක් මම ලියන්නං, දැනටමත් ලිපිය ගොඩක් දිග හින්දා.

අපි කණ්ඩායම් අලෙවියට පිරමිඩ් කියන්ඩ පුරුදුවෙලා තියෙන්නේ ඒකේ ආකෘතියේ තියෙන හැඩය හින්දා. හැබැයි ඒ ආකෘතිය හින්දා ඒකට පිරමඩ් කියනවනං පවුලක් පිරමිඩ් එකක්. ඕනෑම ව්‍යාපාරයක්, පාර්ලිමේන්තුවක් පිරමිඩ් එකක්. මේ චිත්‍රය ඒක පැහැදිලි කරනවා

ඇත්තටම තියෙන ප්‍රධාන වෙනස්කම් ගැන කතාකරනවනං

  1. පිරමිඩ් ක්‍රමයේදී මුදලට සරිලන භාණ්ඩයක් හෝ සේවාවක් ලබා නොදෙන අතර කණ්ඩායම් අලෙවිකරණයේදී මූලික වන්නේ අලෙවිකරණයයි. එනම් භාණ්ඩයක් හා මුදල් හුවමාරුවේ.
  2. පිරමිඩ් ක්‍රමයේදී එක් සාමාජිකයෙකු අසාර්ථක වූ විට එය බොහෝදෙනෙකුට බලපායි. එහෙත් කණ්ඩායම් අලෙවිකරණයේදී එසේ සිදුවන්නේ නැත.
  3. ප්‍රධානම කරුණ… පිරමීඩ් නීතියෙන් තහනම්ය. කණ්ඩායම් අලෙවිකරණය නීතියෙන් තහනම් නැත.

ලංකාවේ පවතින කණ්ඩායම් අලෙවිකරණයේ යෙදෙන ආයතන කිහිපයක්

  1. ඔරිෆ්ලේම්
  2. බෙස්ට්ලයිෆ් ඉන්ටර්නැෂනල්
  3. ටියැන්ස්

ඔබදන්නා වෙනත් ආයතනද (පිරමිඩ් නොවන) මෙම ලයිස්තුවට ඇතුලත් කෙරෙනු ඇත

කියන තරම් යකා කලු නොවුනත් යකා ටිකක් හෝ කලු වීමට පුලුවන. යකාගේ කලු හෝ නොවන කලු හඳුනාගැනීමට ඔබදන්නා දේ මෙහි ලියා යන්න.

9 comments:

  1. එක්කෝ Network Marketting හොඳටම හොඳා..
    එක්කො ආපු එකෙක්ටවත් කියන්ඩ කිසිම දෙයක් නෑ.

    ReplyDelete
  2. හොඳ ලිපියක් සහෝ! කමෙන්ට් නැති වෙන්න හේතුව උඹ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරලා නැති එක

    ReplyDelete
  3. ඔන්න වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා :D

    ReplyDelete
  4. හොඳ විග්‍රහයක්

    ReplyDelete
  5. නෙට්වර්ක් මාකටින් යනු පිරමීඩ ක්‍රමයක් නොව.කිසිත් නොදන්නා පන්ඩිත මමත්වයෙන් හිතන පිරිසකගේ මනෝ චිත්‍ර මහජනයාගේ චිත්ත සන්තානයන්හි නෙට්වර්ක් මාර්කටින්‍ යනු පිරමීඩයක් යැයි කා වද්දා ඇත.
    නමුත් සත්‍යනම් නෙට්වර්ක් මාර්කටින් යනු ලංකාවම දියුනුවෙන් දියුනුවට පත්කල හැක්කක්.
    වසර 1000ක් ඈතට ගිය කල්හි ලංකාව දරන තැන(ඒක පුද්ගල ආදායම) වසර100කදී ලගා කරගතහැකි තරම් සූක්ශම වැඩ පිලිවෙලක් නෙට්වර්ක් මාර්කටින් සතුයි.

    ReplyDelete
  6. නෙට්වර්ක් මාකටින් යනු පිරමීඩ ක්‍රමයක් නොව.කිසිත් නොදන්නා පන්ඩිත මමත්වයෙන් හිතන පිරිසකගේ මනෝ චිත්‍ර මහජනයාගේ චිත්ත සන්තානයන්හි නෙට්වර්ක් මාර්කටින්‍ යනු පිරමීඩයක් යැයි කා වද්දා ඇත.
    නමුත් සත්‍යනම් නෙට්වර්ක් මාර්කටින් යනු ලංකාවම දියුනුවෙන් දියුනුවට පත්කල හැක්කක්.
    වසර 1000ක් ඈතට ගිය කල්හි ලංකාව දරන තැන(ඒක පුද්ගල ආදායම) වසර100කදී ලගා කරගතහැකි තරම් සූක්ශම වැඩ පිලිවෙලක් නෙට්වර්ක් මාර්කටින් සතුයි.

    ReplyDelete
  7. kohomath oya hamadema dannawa kiyala hithan inna modayanta me gana kohomath therenne na a aya karanne diunu wenna kamathi kenektath akul helana aka thama un danna reddakuth na

    ReplyDelete
  8. නෙට්වර්ක් මාකර්ටින් යනු කාලයට ගැලපෙන හොඳ සාර්ථක වැඩ පිලිවෙලක්

    ReplyDelete
  9. මිනිස්සු නොදැනුවත්කම නිසා බනිනවා. ජීවිතයේ හැම අංශයක්ම සාර්ථක කර ගන්න පුලුවන් හොඳ network marketing එකකින්

    ReplyDelete